'' සොකරී එන්නී සභයෙන් අවසර ගන්නී..
නැටුන් නටන්නී තාලෙට පාද තියන්නී...
පද අල්ලන්නී- ආර්හ් ඒ මෝඩයා මගේ දිහා බලාගෙන ඒක කිය කිය නටපු හැටි.. හහ් '''' චූටි මැණිකේ .. මොනාද දරුවො වතුසුදු ගහත් එක්ක කුටු කුටු ගාන්නෙ.. මල් ටික නෙලාගෙන ඉවරනම් එන්න ගෙට කිරි එක බොන්න ''
ඊයෙ රෑ තිබ්බ සොකරි නාට්‍ය මතක් කර කර මං වතුසුදු ගහේ එක පැත්තකම මල් හිස් කරලා.. අම්මා ඉස්තෝප්පුවේ ඉදන් කතා කරාම මං මල් වට්ටියත් අරන් ගේ දිහාවට දුවලා ගියා.
බුදු පහන ලඟ පහනට තෙල් දදා හිටපු අත්තම්මා ලගින් මල් වට්ටිය තිබ්බම අත්තම්මා මගෙ ඔලුව ඉම්බා.. ඊටපස්සෙ මං අම්මගෙ අතින් කිරි වීදුරුව අරන් සාලෙ තාත්තා වාඩිවෙලා හිටිය පුටුව ලග බිමින් වාඩි උනා..
'' චූටි මැණිකෙට මහන්සිද ? ඊයෙ රෑ ආවෙ දොලහටත් කිට්ටු වෙලානෙ.. තව ටිකක් නිදාගන්න තිබ්බනෙ ''
අප්පච්චි දන්නෑනෙ සොකරි කෝලමක් මගේ හීන අස්සට ඇවිත් ඇහැ පියාගන්න දෙන්නැ කියලා.. මං අප්පච්චිගෙ කකුලකට හේත්තු උනා..
'' දැන් කවද්ද චූටි මැණිකෙ උසස් පෙළට පන්ති යන්න පටන් ගන්නෙ.. ''
අප්පච්චි එහෙම ඇහුවම මං බැලුවෙ අම්මා දිහා.. කොහොමහරි ඇවිටිලි කරලා ආට් කරන්න කැමති කරවගත්තෙත්..
නැටුම් කරන්න දේවිද? අම්මා මූනෙන් කිව්වෙ අහන්න කියලා.. මං වීදුරුවත් අත් දෙකට තද කරගත්තා..
'' අප්පච්චී... ''
'' ම්ම්ම්... ''
'' මං.. මං නැටුම් තෝරගන්නද ? ''
මට දැනුනා අප්පච්චී වැල් පුටුවෙ කෙලින් වෙනවා වගේ... හා කියයිද?
'' නැටුම් ? නැටුම් කරලා කාටද බන් හරි ගියේ.. අර පේන්නැ සේතංගෙ කොලුවා.. ඌ නේද අර සොකරි නැටුවෙ. ''
වෙස් මූණ දාගෙන සොකරි නැටුවට මොකද... මට පෙනුනෙම ඒ ඇඳුමට වැහිලා ඉන්න කඩවසම් තරුණයාව විතරයි..
'' ඒකා නට නට බෙර ගහ ගහ ඉන්නව මිසක් ඌට වැඩකුත් නැ රටට වැඩකුත් නෑනෙ. මොකක්හරි වැදගත් විශයක් තෝරගන්න චූටි මැණිකෙ.. ආයෙනම් අහන්න තියාගන්නෙපා ඔන්න ''
